සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝලාම් (To Lam) මහතා සිය නිල සංචාරයේ විශේෂාංගයක් ලෙස හෙට (08) පෙරවරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ. මෙය 2015 වසරෙන් පසුව විදේශීය රාජ්‍ය නායකයෙකු මෙරට උත්තරීතර මන්ත්‍රණ සභාව අමතනු ලබන ප්‍රථම අවස්ථාව වීම විශේෂත්වයකි.හෙට පෙරවරු 11.05 ට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙන ජනාධිපතිවරයාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් ඉතා උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීමට නියමිතය. අනතුරුව දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් කථානායකවරයා සහ වියට්නාම් ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වේ.මෙම නිල හමුව සඳහා ශ්‍රී ලංකා – වියට්නාම් මිත්‍රත්ව සංගමයේ සභාපති අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්වීමට නියමිතය. එහිදී ජනාධිපති ටෝලාම් මහතා පාර්ලිමේන්තුවේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක් තබමින් සිය සංචාරය සනිටුහන් කරනු ඇත.වැඩසටහනට අනුව පෙරවරු 11.40 ට ජනාධිපතිවරයා සභාගර්භය වෙත පිවිසෙන අතර, කථානායක අසුන අසල පනවා ඇති විශේෂ ආසනයක සිට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතීමට නියමිතය. මෙම ඓතිහාසික දේශනය හරහා දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ අනාගත සහයෝගීතාව පිළිබඳ වැදගත් කරුණු රැසක් අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.දේශනය අවසානයේ අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා විසින් විශේෂ ස්තුති ප්‍රකාශයන් ඉදිරිපත් කරනු ලබන අතර, ඉන් අනතුරුව සභාව තාවකාලිකව අත්හිටුවීමට නියමිතය. එම කෙටි විරාමයෙන් පසු වියට්නාම් ජනාධිපතිවරයා සිය පාර්ලිමේන්තු සංචාරය නිමවා පිටත්ව යාමට සැලසුම් කර ඇත.

























