විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දීර්ඝ කාලයක සිට පවතින නේවාසිකාගාර හිඟය සහ දේශන ශාලාවල ඇති අඩුපාඩු ඇතුළු මූලික පහසුකම් වහා වැඩිදියුණු කිරීමට රජය මැදිහත් විය යුතු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සමඟ අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී සිසුන් මුහුණ දෙන දැවෙන ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට ශිෂ්‍ය නියෝජිතයෝ පියවර ගත්හ.අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා මහතා ප්‍රකාශ කළේ, නිසි අධ්‍යාපන පරිසරයක් සහතික කිරීම රජයේ වගකීමක් බවයි. ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් පවතින මෙම බාධාවන් ඉවත් කර වඩාත් කාර්යක්ෂම සහ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත්, එසේ නොවන තාක් ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් හඬ නගන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

























