ශ්රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ මතුවෙමින් පවතින ගැටලු හේතුවෙන් රජය කෙරෙහි පවතින ජනතා අනුමැතිය මැතිවරණයෙන් පසු වාර්තා වූ සියයට 65ක ඉහළ අගයක සිට සියයට 50 දක්වා පහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම ‘මූඩ් ඔෆ් ද නේෂන්’ (Mood of the Nation) සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. 2026 ජූලි මාසයේදී සිදු කරන ලද මෙම සමීක්ෂණයට අනුව රජයේ අනුමැතිය සියයට 49.83ක් ලෙස සටහන් වී ඇති අතර, එය පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 65ක අගය සමඟ සැසඳීමේදී සැලකිය යුතු පහළ යෑමකි. ආර්ථිකය පිළිබඳ ජනතා ඉදිරිදර්ශනය (දැක්ම) ද දැඩි ලෙස පිරිහී ඇති බව මෙම දත්ත මඟින් අනාවරණය වේ.ආර්ථික තත්ත්වයන් “යහපත් අතට හැරෙමින් පවතින” බව විශ්වාස කළ ප්රතිචාර දැක්වූවන්ගේ ප්රතිශතය මීට පෙර පැවති සියයට 64ක සිට සියයට 41.63 දක්වා පහත වැටී ඇති අතර, ආර්ථිකය “ක්රමයෙන් අයහපත් අතට හැරෙමින් පවතින” බව පවසන පිරිස මීට පෙර පැවති සියයට 15 වැනි අගයේ සිට සියයට 40.29 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම, සමීක්ෂණයට ලක් වූවන්ගෙන් සියයට 55.59ක් වත්මන් ආර්ථික තත්ත්වය “දුර්වල” ලෙස තක්සේරු කර ඇති අතර, ආර්ථික තත්ත්වය “හොඳ” හෝ “විශිෂ්ට” මට්ටමක පවතින බව සලකා ඇත්තේ සියයට 38ක් පමණි. මෙම ආර්ථික මනෝභාවයේ වෙනස හේතුවෙන් වෙරිටේ රිසර්ච් ආයතනයේ ආර්ථික විශ්වාසනීයත්ව දර්ශකය (Economic Confidence Index) නැවත වරක් -8 ක සෘණ අගයක් දක්වා පහත වැටී ඇත.රජයේ ක්රියාකලාපය අනුමත නොකරන පිරිස ද සියයට 31.40 දක්වා වැඩි වී ඇති බව මෙම සමීක්ෂණය පෙන්වා දෙයි. මෙම සමීක්ෂණය 2026 ජූලි 11 සිට 30 දක්වා කාලය තුළ, රට පුරා නියෝජනාත්මක අහඹු සාම්පල ක්රමවේදයක් යටතේ තෝරාගත් වැඩිහිටියන් 2,013 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ‘වැන්ගාඩ් සර්වේ’ (Vanguard Survey) ආයතනය සමඟ එක්ව පවත්වන ලදී. සම්පූර්ණ සාම්පලය සඳහා සියයට 95ක විශ්වාසනීය මට්ටමක් යටතේ උපරිම දෝෂ ආන්තිකය ±2.21% ක් වන බව ද එම වාර්තාව සඳහන් කරයි.



























