ශ්‍රී ලංකා – ජර්මානු ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් වෙයි

​ශ්‍රී ලංකාව සැමවිටම කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාව අගය කරන විවෘත මෙන්ම විශ්වාසනීය හවුල්කරුවෙකු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. ඇය මේ බව කියා සිටියේ කොළඹදී පැවැත්වුණු ‘ශ්‍රී ලාංකීය-ජර්මානු ව්‍යාපාරික සමුළුව 2026’ අමතමිනි. ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත මණ්ඩලය (AHK Sri Lanka) සහ කොළඹ ජර්මානු තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම සමුළුවේ මූලික අරමුණ වූයේ සමුද්‍රීය හා සැපයුම් දාම ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව විදේශීය ආයෝජන සඳහා සුදුසුම ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමයි.​මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, දෙරට අතර සංචාරක, වෙළඳ, තාක්ෂණ සහ ආයෝජන ක්ෂේත්‍රවල පවතින දීර්ඝකාලීන සබඳතාව අතිශය වැදගත් බව පෙන්වා දුන්නාය. විශේෂයෙන්ම වෘත්තීය අධ්‍යාපනය, පුහුණු කිරීම් මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ජර්මනිය ලබාදෙන සහයෝගය ඇයගේ ඇගයීමට ලක්විය. ශ්‍රී ලංකාව මේ වන විට සාර්ව ආර්ථික ස්ථාවරත්වය උදෙසා පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාවට නංවමින් සිටින බවත්, එහිදී කාන්තාවන් ඇතුළු අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.​ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික පිහිටීම සහ දක්ෂ ශ්‍රම බලකාය උපයෝගී කරගනිමින් නව ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීමට ඉදිරිපත් වන ලෙස අග්‍රාමාත්‍යවරිය ජර්මානු ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියාය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන්, AHK ආයතනයේ ප්‍රධාන නියෝජිත මාර්ටින් ක්ලෝස් යන මහත්වරුන් ඇතුළු දෙරටේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,162

Leave A Reply

Your email address will not be published. Required fields are marked *