ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නයියර් නසීර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර නිල හමුවක් ඊයේ (30) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සුහදව අදහස් හුවමාරු කරගත් අතර, විශේෂයෙන්ම ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටු ආපදා අවස්ථාවේදී පකිස්ථානය ශ්‍රී ලංකාවට ලබාදුන් කඩිනම් සහයෝගය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක්විය. ගෞරවය සහ පොදු අභිලාෂයන් මත පදනම් වූ මෙම මිත්‍රත්වය කලාපීය ස්ථාවරත්වයට ඉතා වැදගත් බව මෙහිදී අවධාරණය කෙරිණි.දෙරටේ අනාගත අභිවෘද්ධිය උදෙසා අධ්‍යාපන, ක්‍රීඩා සහ සංචාරක යන ප්‍රධාන ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. හුදෙක් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පමණක් නොව, දෙරටේ ජනතාව අතර පවතින සබඳතා වර්ධනය කිරීම සහ නව ආයෝජන අවස්ථා උදාකර ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණක් විය. ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවතින සබඳතා නව මානයන් ඔස්සේ ශක්තිමත් කිරීමට ඇති කැපවීම දෙපාර්ශවය විසින්ම මෙහිදී යළි තහවුරු කරන ලදී.මෙම අවස්ථාවට පකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස් සුනෙයිරා ලතීෆ් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙම හමුව ඉදිරි කාලසීමාව තුළ දෙරට අතර ආර්ථික සහ සාමාජීය සබඳතා තවදුරටත් තීව්ර කිරීමට මනා පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

























