UNCCD COP17 සමුළුවට සමගාමීව, ශ්‍රී ලංකා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ මොංගෝලියාවේ පරිසර හා දේශගුණික විපර්යාස අමාත්‍ය සැන්ඩාග්-ඔචිර් සෙන්ඩ් අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී සමුළුව සාර්ථක කර ගැනීම සඳහා මොංගෝලියානු රජය දරන උත්සාහය අගය කළ ශ්‍රී ලංකා අමාත්‍යවරයා, ඒ සඳහා තම රටේ පූර්ණ සහයෝගය පළ කළේය.භූමි හායනය, නියඟය, සහ ජල හිඟය වැනි දෙරටටම පොදු පාරිසරික අභියෝග ජය ගැනීම සඳහා තාක්ෂණය, දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැදගත්කම නායකයෝ දැඩි ලෙස අවධාරණය කළහ. ඒ අනුව, තිරසර භූමි හා ජල කළමනාකරණය, වන සංරක්ෂණය මෙන්ම 2030 වන විට LDN ඉලක්ක සපුරා ගැනීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟතාව පළ විය.දේශගුණික මූල්‍ය පහසුකම් පුළුල් කිරීම සහ UNEA-8 ඇතුළු ජාත්‍යන්තර සංසදවලදී දෙරටේ හඬ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි. මෙම හවුල්කාරීත්වය ආසියා-පැසිෆික් කලාපයේ පාරිසරික අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ සංවර්ධන වෙමින් පවතින රටවල අයිතිවාසිකම් රැක ගැනීමට කදිම රුකුලක් වනු ඇති බව අමාත්‍යවරු සඳහන් කළහ.



























