ශ්‍රී ලංකාවට PayPal මුදල් ලබාගැනීමේ පහසුකම නිල වශයෙන් විවෘත වෙයි!

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනය උදෙසා තැබූ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, මෙරටට PayPal සේවා පහසුකම් පුළුල් කිරීමේ නිල ප්‍රකාශනය අද (16) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.​මෙතෙක් කාලයක් ශ්‍රී ලාංකික PayPal ගිණුම් ක්‍රියාත්මක වූයේ විදේශයන්ට “මුදල් යැවීම සඳහා පමණක්” (Send Only) සීමා වූ පද්ධතියක් ලෙසිනි. එමගින් අන්තර්ජාලය හරහා පිටරටවලට ගෙවීම් කිරීමට හැකි වුවද, ජාත්‍යන්තර සේවාදායකයන්ගෙන් මෙරටට මුදල් ගෙන්වා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව අහිමි වී තිබුණි.​දිගුකාලීනව පැවති මෙම සීමාකාරී බාධාව හේතුවෙන් මෙරට ස්වාධීන වෘත්තිකයන් (Freelancers) මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ද ජාත්‍යන්තර වෙළෙඳපොළේදී වසර ගණනාවක් තිස්සේ දැඩි අපහසුතාවන්ට මුහුණ දුන්හ.​නව සේවා ව්‍යාප්තියත් සමඟ, අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවාවන් සපයන දේශීය ව්‍යවසායකයන්ට තමන් උපයන විදේශ විනිමය සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබාගැනීමේ ඓතිහාසික අවස්ථාව උදාවෙයි. මෙමගින් රටට ගලාඑන නිල විදේශ විනිමය ප්‍රමාණයද කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇත.​වසර 12 කට අධික කාලයක් තිස්සේ පැවති විවිධ සාකච්ඡා, තාක්ෂණික ප්‍රමාදයන් සහ අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් රැසක ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට හැකි වී තිබේ. මෙය දේශීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සහ ඊ-වාණිජ්‍යයේ (e-commerce) දැවැන්ත පිම්මකි.​මෙම මූල්‍ය සහයෝගීතාවයේ මූලික පියවර යටතේ ලංකා බැංකුව (BOC), කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන ප්‍රමුඛ පෙළේ දේශීය බැංකු ත්‍රිත්වය හරහා PayPal මුදල් ලබාගැනීමේ පහසුකම් මෙරට තුළ ක්‍රියාත්මක වේ. ඉදිරියේදී අනෙකුත් බැංකු පද්ධතීන් ද මේ සමඟ සම්බන්ධ වීමට නියමිතය.​ලොව විශාලතම ඩිජිටල් ගෙවීම් වේදිකාවක් වන PayPal ආයතනය රටවල් 200 කට අධික සංඛ්‍යාවක මිලියන 430 ක පාරිභෝගික පිරිසකට සේවා සපයයි. ඔවුන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 කට වඩා වැඩි ගනුදෙනු ප්‍රමාණයක් සුරක්ෂිතව හසුරුවනු ලබයි.​නව රජයේ ආර්ථික සැලැස්ම සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීම යන ප්‍රතිපත්ති මත පදනම් වන බව මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. එම දැක්ම යථාර්ථයක් කිරීමට මෙම ඩිජිටල් මූල්‍ය පරිවර්තනය අත්‍යවශ්‍ය සාධකයක් බව ඇය පැවසුවාය.​මෙම සන්ධිස්ථානය ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනන්‍යතාව ගෝලීය වශයෙන් තහවුරු කරන්නක් බව පැවසූ අගමැතිනිය, අපේ රට තවදුරටත් අන් අයව අනුගමනය කරන්නෙකු පමණක් නොවී, තමන්ගේම ශක්තියෙන් නැගී සිටින විශ්වාසදායී රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ස්ථානගත වන බවද ප්‍රකාශ කළාය.​ශ්‍රී ලංකාව සතු දක්ෂ තරුණ පරපුර සහ ස්වාධීන වෘත්තිකයන් රටේ ආර්ථික වර්ධනයේ නියමුවන් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ආරක්ෂිත මෙන්ම වගකීම් සහගත මූල්‍ය පද්ධතියක් හරහා ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට උපරිම වටිනාකමක් ලබාදීමට රජය සූදානම් බව සඳහන් කළාය.​ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සභාව අමතමින් කියා සිටියේ, මීට පෙර පැවති විධිමත් ක්‍රමවේදයන්ගේ හිඟකම නිසා මෙරට ඩිජිටල් අපනයනකරුවන් බොහෝ පිරිසක් අවධිමත් මූල්‍ය මාර්ග (Grey markets) වෙත යොමුවීමට බලකෙරුණු බවයි.​වත්මන් තක්සේරුවලට අනුව ලංකාවේ ඩිජිටල් අපනයන වටිනාකම ඩොලර් බිලියන 1.5 ක් පමණ වුවත්, ඉන් විශාල ප්‍රමාණයක් මෙතෙක් පැවතියේ නිල බැංකු පද්ධතියෙන් බැහැර වූ සෙවනැලි කර්මාන්තයක් (Shadow industry) ලෙස බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.​රජයේ ඉලක්කය වී ඇත්තේ 2030 වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතයට (GDP) 20% ක දායකත්වයක් සපයන, ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් මෙරට තුළ නිර්මාණය කිරීම බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.​ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ, පසුගිය කාලයේ පැවති බාධා ඉවත් කරමින් ජනාධිපති කාර්යාලය මැදිහත් වී ඉන්දියාවේ PayPal නියෝජිතයන් සමඟ සෘජුවම සාකච්ඡා කර මෙම පහසුකම කඩිනමින් රටට දිනාදුන් බවයි.​ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ, මීට වසර කිහිපයකට පෙර සිංගප්පූරුවේදී තමා PayPal ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ඔවුන් ලංකාව ශක්‍යතා සහිත වෙළෙඳපොළක් ලෙස නොදුටු නමුත්, අද වන විට ලංකාවේ සැබෑ විභවය හඳුනාගෙන ඇති බවයි.​මෙම අවස්ථාවට සහභාගී වූ PayPal ආයතනයේ ඉන්දියාව සහ දකුණු ආසියාව පිළිබඳ සංස්ථාපිත කටයුතු අධ්‍යක්ෂ නාත් පරමේෂ්වරන් මහතා, ශ්‍රී ලංකා රජය සහ මූල්‍ය නියාමන ආයතන දැක්වූ සුවිශේෂී සහයෝගීතාව සහ නායකත්වය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.​ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර සහ ස්වාධීන වෘත්තිකයන් රටේ ආර්ථිකයේ ප්‍රධාන පදනම බවත්, ඔවුන් ගෝලීය වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කිරීමට ලැබීම භාග්‍යයක් බවත් PayPal ආසියා පැසිෆික් කලාපීය සාමාන්‍යාධිකාරී නාඩියා සයීඩ් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.​ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී වයි. ඒ. ජයතිලක මහතා පෙන්වා දුන්නේ, තම බැංකුවේ ගනුදෙනුකරුවන් අතරින් 150,000 කට අධික පිරිසක් අන්තර්ජාලය හරහා සේවා සපයන තරුණයන් බවත්, ඔවුන් වෙනුවෙන්ම ‘Smart Freelancer’ වැනි විශේෂ සේවාවන් රැසක් හඳුන්වා දී ඇති බවත්ය.​කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අදහස් දක්වමින් කියා සිටියේ, PayPal මුදල් ආපසු ගැනීමේ (Withdrawal) පහසුකම ලැබීම මෙරට තොරතුරු තාක්ෂණ රැකියා උත්පාදනයට සහ නිල විදේශ විනිමය ගලා ඒම ශක්තිමත් කිරීමට ලැබුණු මහඟු පිටිවහලක් බවයි.​සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සංජය ප්‍රදීප් ගුණවර්ධන මහතා සඳහන් කළේ, මෙම තාක්ෂණික විසඳුම මගින් ලංකාව ගෝලීය ෆින්ටෙක් (FinTech) නවෝත්පාදනයන් සමඟ වඩාත් සමීපව බද්ධ කරන අතර ව්‍යාපාරික ප්‍රජාවට නව ක්ෂිතිජයන් විවෘත කරන බවයි.​මෙම නව මූල්‍ය පහසුකම් භාවිතා කරමින් තම දේශීය ව්‍යාපාරික කටයුතු සහ ජාත්‍යන්තර සේවා සැපයීම් තවදුරටත් පුළුල් කරගන්නා ලෙස මූල්‍ය අංශයේ ප්‍රධානීන් මෙරට තරුණ ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියහ.​අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය ගනුදෙනුවල ආරක්ෂාව සහ වගවීම සහතික කිරීම වෙනුවෙන් ඩිජිටල් මුදල් (Digital currencies) සහ අතථ්‍ය වත්කම් (Virtual assets) සඳහා නව නියාමන රාමුවක් සකස් කිරීමටද රජය මේ වන විට පියවර ගනිමින් සිටී.​ගෝලීය වශයෙන් සිදුවන මූල්‍ය වංචා සහ සැකකටයුතු ගනුදෙනුවලින් දේශීය පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා, ජාත්‍යන්තරව පිළිගත් මෙවැනි නිල වේදිකාවන් පරිශීලනය කිරීම අතිශයින්ම වැදගත් වන බව රාජ්‍ය නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.​මෙම සේවාවන් ක්‍රියාත්මක වන ආකාරය සහ ඉන් ප්‍රතිලාභ ලබාගන්නා ආකාරය පිළිබඳව ඉදිරි දිනවලදී අදාළ බැංකු පද්ධතීන් මගින් පාරිභෝගික ජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව පුළුල් ලෙස දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත.​වැඩිදුර තොරතුරු සහ තාක්ෂණික සහය අවශ්‍ය පුද්ගලයන්ට තමන් ගනුදෙනු කරනු ලබන ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව හෝ සම්පත් බැංකුවේ ශාඛාවන් සෘජුවම සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය උපදෙස් ලබාගත හැකිය.​ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් සංචාරක වීසා (Digital Nomad Visa) ක්‍රමවේදය වැනි නවීන උපායමාර්ගික පියවර රැසක්ද මේ වන විට ක්‍රියාවට නංවා ඇත්තේ ගෝලීය වෘත්තිකයන් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් බව සමුළුවේදී අනාවරණය විය.​සංවර්ධනයේ පවතින කලාපීය විෂමතා සහ ආර්ථික අසමානතාවන්ට විසඳුම් සෙවීමේදී, ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන දක්ෂ තරුණ තරුණියන්ටද ගෝලීය ආර්ථිකයට සෘජුවම දායක වීමට මෙමගින් සමාන අවස්ථා හිමිවේ.​මෙම සුවිශේෂී රාජ්‍ය තාන්ත්‍රික සහ මූල්‍යමය සන්ධිස්ථානය සඳහා පර්යේෂණ හා සංවර්ධන වාණිජ්‍යකරණ ජාතික ප්‍රවේශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත සෙනරත් යාපා මහතා ඇතුළු කණ්ඩායම දැක්වූ දායකත්වයද මෙහිදී විශේෂ ඇගයීමට ලක්විය.​මෙම නිල සමාරම්භක අවස්ථාව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, චතුරංග අබේසිංහ, ජනාධිපති උපදේශකවරුන් වන ගෝමික උඩුගමසූරිය සහ හාන්ස් විජේසූරිය යන මහත්වරුන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,142

Leave A Reply

Your email address will not be published. Required fields are marked *