ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ සිනමා නිර්මාණය වන ‘දුටුගැමුණු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ ප්‍රවීණ කලාකරුවෙකු වූ ගිවන්ත අර්ථසාද් මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට 73 වන වියෙහි පසුවූ ඒ මහතා, පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවන සමුගැනීම සිදු කර තිබේ. ප්‍රවීණ සිනමාකරු දිනේෂ් ප්‍රියසාද් මහතාගේ සහෝදරයෙකු වන ඒ මහතා, 1979 වසරේදී මෙරට ප්‍රථම කාටූන් සිනමා නිර්මාණය එළිදක්වමින් සිනමා ඉතිහාසයට එක් වූ පුරෝගාමියෙකි.සජීවීකරණ අංශයට අමතරව කැමරාකරණය, චිත්‍ර කලාව, කලා අධ්‍යක්ෂණය සහ වේශ නිරූපණය යන ක්ෂේත්‍ර රැසක දක්ෂතා දැක්වූ ඔහු, ‘සිනමා – මායා’ නම් ග්‍රන්ථය රචනා කරමින් සාහිත්‍ය ක්ෂේත්‍රයටද දායකත්වයක් ලබා දී ඇත. එසේම, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද සේවය කර තිබෙන ඒ මහතාගේ වියෝව ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි පාඩුවකි.


























