සෞදි අරාබියේ දම්මාම් මධ්යම බන්ධනාගාරයේ පසුවන අනෝජන් සිවරාසා මහතාට පනවා තිබූ මරණ දඬුවම එරට ශ්රේෂ්ඨාධිකරණය මගින් අහෝසි කර නඩුව නැවත විභාග කිරීමට තීරණය කර ඇත. මෙම තීරණයෙන් පසු ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපති අමේර් අජ්වාඩ් මහතා බන්ධනාගාරය වෙත ගොස් ඔහුව හමු වී තිබේ.මෙම හමුවේදී නඩුවට අදාළ කරුණු නිසි පරිදි ඉදිරිපත් කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇති තානාපතිවරයා, අනෝජන් මහතාට අවශ්ය නීතිමය සහ කොන්සියුලර් සහාය අඛණ්ඩව ලබාදෙන බවට සහතික වී ඇත. ඉදිරි අධිකරණ ක්රියාවලියේදී නීතියේ ආධිපත්යයට සම්පූර්ණයෙන්ම ගරු කරමින් තානාපති කාර්යාලය සහ නීතිඥවරුන් එක්ව කටයුතු කරන බවද සඳහන් විය.තවද, අනෝජන් සිවරාසා මහතාගේ සුබසාධනය උදෙසා දැක්වූ සහයෝගය වෙනුවෙන් තානාපතිවරයා බන්ධනාගාර බලධාරීන්ට ස්තූතිය පළ කළේය. මෙම සංචාරයට තානාපති කාර්යාලයේ පළමු ලේකම් වින්දන මුණසිංහ සහ භාෂා පරිවර්තක සාහුල් හමීඩ් යන මහත්වරු ද එක්ව සිටියහ.



























