අද (28) දිනට යෙදී ඇති හජ්ජි උත්සවය වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන පාලනය සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දිවයින පුරා විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබේ. ආගමික වතාවත්වල නිරත වන ජනතාවගේ ආරක්ෂාව උපරිමයෙන් සහතික කරන ලෙස දන්වමින් පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇත.මේ යටතේ විශේෂ උත්සව යාඥාවන් පැවැත්වෙන ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ ඒ අවට කලාප කේන්ද්‍ර කරගනිමින් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර තිබේ. මීට අමතරව, පල්ලි අවට සිදුවිය හැකි රථවාහන තදබදය අවම කර බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාවට නංවා ඇත.ඉස්ලාම් භක්තිකයන් බහුලව ගැවසෙන නගර සහ වෙළෙඳ කලාප ඉලක්ක කරගනිමින් පාමුර සංචාර, යතුරුපැදි සහ ජංගම මුරසංචාර ද දැඩි කර ඇති බව වාර්තා වේ. පවතින තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් බුද්ධි අංශ නිලධාරීන් ද විශේෂ රාජකාරි සඳහා යොදවා ඇති බව ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.



























