පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ විමර්ශනවලදී තමන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම සලකා බැලීම ජූලි 21 වන දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර ඇත. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහණ අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර, එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් වැඩිදුර කරුණු දැක්වීම් සිදු කරන ලදී. එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පෙත්සම යළි ජූලි 21 දින කැඳවීමට අධිකරණය නියෝග කළේය.























