දිවයිනේ ප්‍රදේශ රැසක හෙට (20) දිනයේදී උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. අද නිකුත් කරන ලද මෙම පූර්ව අනතුරු ඇඟවීමට අනුව උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත් මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ ද උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.මිනිස් සිරුරට දැනෙන මෙම අධික උණුසුම නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු අවම කර ගැනීමට ජනතාව පියවර ගත යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මේ සඳහා වැඩිපුර ජලය පානය කිරීම, හැකි සෑම විටම සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම සහ අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම, පිටතට යාමේදී සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ.විශේෂයෙන්ම වැඩිහිටියන්, රෝගී පුද්ගලයන් සහ කුඩා දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී. කිසිදු අවස්ථාවක කුඩා දරුවන් සංවෘත වාහන තුළ තනිකර දමා නොයන ලෙසත්, පවතින තත්ත්වය හමුවේ තමන්ගේ මෙන්ම අන් අයගේ ද ආරක්ෂාව තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙසත් මෙම නිවේදනය මගින් වැඩිදුරටත් සිහිපත් කර ඇත.
























