සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසා වෙනුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අභියාචනය සකස් කර අවසන් කර ඇත. ශ්‍රී ලාංකික සහ සෞදි අරාබි නීතිඥ කණ්ඩායම් එක්ව පැවැත්වූ විශේෂ සාකච්ඡාවලින් අනතුරුව මෙම නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති අතර, ඉදිරි දින කිහිපය ඇතුළත අදාළ පෙත්සම ගොනු කිරීමට නියමිතය.සමාජ මාධ්‍ය සටහනක් පදනම් කරගනිමින් අනෝජන්ට එරෙහිව අල් අහ්සා අපරාධ අධිකරණය විසින් මුලින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබුණි. කෙසේ වෙතත්, පැමිණිලි පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් සලකා බැලූ එරට නැගෙනහිර කලාපීය අභියාචනාධිකරණය, පසුගිය සැප්තැම්බර් 17 වනදා එම තීන්දුව මරණ දඬුවම දක්වා ඉහළ නංවන ලදී.මේ වන විට ශ්‍රී ලංකා රජය ද මැදිහත් වෙමින් රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය මාර්ග ඔස්සේ ඔහු මුදාගැනීමේ උත්සාහයක නිරත වේ. ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත මෙම අභියාචනය, අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය පියවරක් ලෙස සැලකේ.


























