අමෙරිකානු තානාපති මහනුවර දී මහනාහිමිවරුන් බැහැදකියි: ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය තවදුරටත් ශක්තිමත් කරන බවට පොරොන්දු වෙයි

අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව මත පනවා ඇති ඇතැම් තීරුබදු පියවරයන් සම්බන්ධයෙන් වඩාත් නම්‍යශීලී ප්‍රවේශයක් අනුගමනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ, නව පත්වීම් ලැබූ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති එරික් එස්. මේයර් මහතා හමුවේ ප්‍රකාශ කළහ. මහනුවර මල්වතු මහා විහාරයේදී තානාපතිවරයා සමඟ පැවති හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළ අතර, අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය සහ පහසුකම් පිළිබඳව ද සිය ප්‍රශංසාව පළ කළහ. අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය තානාපතිවරයා, අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාදය ලබාගත් අතර, එහිදී අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ද සහභාගී වූහ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් තානාපති එරික් මේයර් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ලෙස පත්වීම මෙන්ම මල්වතු හා අස්ගිරි මහා විහාරයන්හි මහනායක හිමිවරුන්ගේ ආශීර්වාදය ලැබීම මහත් භාග්‍යයක් ලෙස සලකන බවයි. දෙරට අතර දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමටත් තම නිල කාලය තුළ අපේක්ෂා කරන බව පැවසූ ඒ මහතා, මීට වසර 25 කට පමණ පෙර සංචාරකයෙකු ලෙස ද තමා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වැඩිදුරටත් සිහිපත් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,345

Leave A Reply

Your email address will not be published. Required fields are marked *