ඇමති වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් නව සමුපකාර පනතක් සකස් කිරීමේ වැඩමුළුවක්

මෙරට සමුපකාර ව්‍යාපාරය වඩාත් විනිවිදභාවයෙන් හා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේ අරමුණින්, මහජන තැන්පතු සුරක්ෂිත කරන නව සමුපකාර පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා වූ විශේෂ දෙදින වැඩමුළුවක් කොළඹදී ආරම්භ වී තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩමුළුව සඳහා සියලු පළාත් සභා නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.​පවතින නීතිමය හිස්තැන් සහ අඩුපාඩු හේතුවෙන් සිදුවිය හැකි වංචා හා නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම නව පනතේ මූලික අපේක්ෂාව බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. දැනටමත් ඒ සඳහා වන සංකල්ප පත්‍රිකාව සකස් කර ඇති අතර, පළාත් ආණ්ඩුකාරවරුන්ගේ මෙන්ම සමූපකාර කොමසාරිස්වරුන්ගේ අදහස් හා යෝජනා ද ලබාගනිමින් නීති කෙටුම්පත් කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යාම මෙහි අරමුණයි.​මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආර්.එම්. ජයවර්ධන සහ උපාලි සමරසිංහ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ආණ්ඩුකාරවරුන් සහ සමූපකාර කොමසාරිස්වරුන් පිරිසක් සහභාගී වී සිටි අතර, ඉදිරියේදී සමුපකාර සමිති සහ බැංකු කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට මේ හරහා නව පසුබිමක් නිර්මාණය වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,285

Leave A Reply

Your email address will not be published. Required fields are marked *