ඉදිරි වසර තුනේදී හෙද සේවයට 13,600ක් බඳවා ගන්නා බව ඇමති නලින්ද පවසයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ඉදිරි වසර තුන ඇතුළත හෙද සේවාවට 13,600ක පිරිසක් අදියර කිහිපයක් යටතේ බඳවා ගැනීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. දැනට පවතින විවිධ අභියෝග මධ්‍යයේ වුවද සමස්ත සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල සහ පහසුකම් සැපයීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව හදිසි අනතුරු ඒකකය සහ නවීකරණය කරන ලද රසායනාගාරය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (14) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.​මෙම සැලසුම්ගත බඳවා ගැනීම් යටතේ නියමිත සමස්ත පිරිසෙන් සියයට 50ක ප්‍රතිශතයක් මෙම වසර තුළදීම බඳවා ගැනීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව මෙම මාසය අවසන් වීමට පෙර හෙද විදුහල් පුහුණුව සඳහා සිසුන් 3,000ක් බඳවාගෙන ඔවුන්ගේ පුහුණු කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි. දැනට හෙද විදුහල් සහ විශ්වවිද්‍යාල මට්ටමින් මෙම බඳවා ගැනීම් සිදු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.​මීට අමතරව ඉදිරියේදී ආරම්භ කිරීමට යෝජිත හෙද විශ්වවිද්‍යාලය හරහා මෙරට හෙද පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කළා. මෙමඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු රැසක් මඟහැරී ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,189

Leave A Reply

Your email address will not be published. Required fields are marked *