ඉරානය සතු යුරේනියම් තොගය වහාම ඇමෙරිකා එක්සත් ජනපදයට භාරදෙන ලෙසත්, ඒවා විනාශ කිරීමට තමන් පියවර ගන්නා බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා ඉරානයේ යුරේනියම් ඇමෙරිකාවට රැගෙන විත් විනාශ කිරීම හෝ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) නිරීක්ෂණය යටතේ සුදුසු ස්ථානයකදී විනාශ කිරීම යන විකල්ප කෙරෙහි අවධානය යොමුව ඇත. කෙසේ වෙතත්, යුරේනියම් භාවිතය තමන්ගේ ස්වෛරී අයිතිවාසිකමක් බව පවසන ඉරානය, තමන් න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ නොකරන බව දිගින් දිගටම අවධාරණය කරයි.මේ අතර, කටාර් රාජ්‍යයේ පැවැත්වෙන සාකච්ඡා ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව සමඟ පවතින සන්නද්ධ ගැටුම් අවසන් කිරීම කෙරෙහි මිස න්‍යෂ්ටික ගැටලුවලට අදාළ නොවන බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කරයි. ඕමානයේ මැදිහත් වීමෙන් ඇරඹි මෙම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලදී හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම, අත්හිටුවා ඇති ඉරාන වත්කම් නිදහස් කිරීම සහ අප්‍රේල් මාසයේ ඇති කරගත් සටන් විරාමය දීර්ඝ කිරීම පිළිබඳව දෙපාර්ශ්වයේම අවධානය යොමුව තිබේ. මෙම එකඟතාවන් සාර්ථක කර ගැනීම සඳහා දෙරට අතර විශ්වාසය ගොඩනැඟීම අත්‍යවශ්‍ය බව ඉරාන නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙති.



























