ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනවලට අදාළව, එම සිදුවීම වාර්තා කළ විද්‍යුත් මාධ්‍ය නාලිකාවල සතු සංස්කරණය නොකළ දර්ශන (Raw Footage) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.පසුගිය 2025 වසරේ අගෝස්තු මස 27 වනදා පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, පොලිස් විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ මාධ්‍ය ආයතන වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් නව දෙනෙකුගේ සුවදුක් සහ වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ. එහිදී පැය භාගයකට ආසන්න කාලයක් රැඳී සිටි මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් පිළිබඳ අදාළ නීතිමය සටහන් තැබීමට ද පියවර ගත්තේය.මීට අමතරව, සුරේෂ් සලේ මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ක්‍රියාත්මක වන අදාළ නඩු විභාගය සඳහා මැදිහත්කරුවෙකු ලෙස සම්බන්ධ වීමට විශ්‍රාමික ලුතිනන්වරයෙකු විසින් ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් සලකා බැලූ අධිකරණය, එම ඉල්ලීමට නීතිමය පදනමක් නොමැති බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළේය.අනෙක් අතට, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පවරා ඇති සුප්‍රකට ග්‍රීක බැඳුම්කර වංචා නඩුව ද අද දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.2012 වර්ෂයේදී ග්‍රීසිය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබියදී, ඒ පිළිබඳ දැනුවත්වම එරට බැඳුම්කර මිලදී ගැනීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකළ බවට කබ්රාල් මහතාට චෝදනා එල්ල වී ඇති අතර, විත්ති පාර්ශවයේ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නඩුව ලබන ජුනි 30 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.



























