හලාවත දුම්රිය ස්ථානය අසලදී සිදු වූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ ධාවන කටයුතු තාවකාලිකව සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.30 ට හලාවත බලා ගමන් ආරම්භ කළ දුම්රියක්, දහවල් 12.30 ට පමණ හලාවත ස්ථානයට ඇතුළු වීමට යාමේදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.මේ හේතුවෙන් මගී ජනතාවගේ පහසුව තකා පුත්තලම මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රියන් කොළඹ කොටුවේ සිට මාදම්පේ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. දැනට බිඳ වැටී ඇති දුම්රිය ගමනාගමන කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පිළිසකර කිරීම් මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වේ.



























