වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්වෙන “ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද (26) උදෑසන ආරම්භ විය. තෝලංගමුව ජාතික පාසල අසලින් ඇරඹි අද දින ගමන් වාරය යක්කල අබේසේකරාරාමය දක්වා ගමන් කිරීමට නියමිතව ඇත. පසුගිය 21 වනදා දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන මේ වන විට ප්‍රදේශ රැසක් පසුකරමින් සාර්ථකව ඉදිරියට ඇදෙමින් පවතී.සැලසුම් කර ඇති පරිදි, හෙට (27) දිනයේදී පාද යාත්‍රාව යක්කල සිට ඓතිහාසික කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතය. මෙම සංචාරයේ විශේෂ අංගයක් ලෙස අප්‍රේල් 28 වනදා කැලණිය විහාරස්ථානයේදී පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් සංවිධානය කර ඇත. තරුණ පරපුර සාමයේ පණිවිඩය වෙත නැඹුරු කරවීම මෙහි ප්‍රධාන අරමුණයි.පාද යාත්‍රාවේ අවසන් අදියර කැලණිය රජමහා විහාරයේ සිට කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ. මෙය හුදෙක් පාගමනක් පමණක් නොව, රට තුළ සහජීවනය සහ සාමය වර්ධනය කිරීම වෙනුවෙන් පවත්වනු ලබන දැවැන්ත ආගමික සහ සමාජයීය මෙහෙවරක් ලෙස සංවිධායකයින් හඳුන්වා දෙයි.මෙම සාම පා ගමනේ නිල රාජ්‍ය උත්සවය නිදහස් චතුරස්‍රයේදී අභිමානවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමාප්ති උත්සවය සඳහා දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතය.

























