‘ඔර්නබ්’ සුළි කුණාටුව නිසා ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළං

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්” සුළි කුණාටුව තවදුරටත් බලවත් වී ‘ඉතා ප්‍රබල සුළි කුණාටුවක්’ බවට පත්ව තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව එය අද අලුයම වන විට කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවැතුණි. මෙම පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ වයඹ දෙසට ගමන් කර හෙට (28) දහවල් වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.​මෙම සුළි කුණාටුවේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එමගින් ඇතිවන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයින පුරා වැසි සහ තද සුළං සහිත කාලගුණයක් පැවැතීමට ඉඩ ඇත. බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, මහනුවර සහ නුවරඑළිය යන ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිය.​එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුර, උතුරු-මැද, වයඹ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 40-50ත් අතර තද සුළං හමා යා හැක. ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,397

Leave A Reply

Your email address will not be published. Required fields are marked *