කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය සඳහා නීතිඥවරුන් කැඳවීම පිළිබඳ තීරණය ජූනි 2 දා

​ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන් සාක්ෂිකරුවන් ලෙස කැඳවන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන ජූනි මස 02 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම නඩුව ඊයේ (26) යළි කැඳවූ අවස්ථාවේදී, නිල වශයෙන් සිතාසි නිකුත් කර නොතිබුණද මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් අධිකරණයට ගරු කිරීමක් වශයෙන් අදාළ නීතිඥවරුන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.​මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා, මෙම නීතිඥවරුන් දෙදෙනා සාක්ෂියට කැඳවීමේ පවතින අදාළත්වය සහ අවශ්‍යතාව පිළිබඳව නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටියේය. ඒ පිළිබඳව මහේස්ත්‍රාත්වරයා කළ විමසීමකදී කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ, අදාළ නීතිඥවරුන්ගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. කපිල චන්ද්‍රසේන මහතා මියයෑමට පෙර, ඔහුට එරෙහිව පැවති අල්ලස් නඩුවේ නීතිඥවරුන් ලෙස කටයුතු කළේ ද මොවුන් දෙදෙනාය.​විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේ, කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව වරෙන්තු නිකුත් වූ මැයි 07 වනදා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ ජංගම දුරකථනය ඔස්සේ මියගිය චන්ද්‍රසේන මහතා සහ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අතර දුරකථන සංවාදයක් සිදුව ඇති බවයි. එම අවස්ථාවේදී අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට පැමිණි පිරිසක් නීතිඥ කාර්යාලය වෙත ගොස් සාකච්ඡා කර ඇති බැවින්, එම සංවාදවල අන්තර්ගතය අනාවරණය කරගැනීම සඳහා මෙම සාක්ෂි කැඳවීම වැදගත් වන බව පොලිසිය ප්‍රකාශ කළේය.​දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ නියෝගය ජූනි 02 වනදාට කල් තැබූ අතර, ඉදිරියේදී සිතාසි නිකුත් කළහොත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නීතිඥවරුන්ට දැනුම් දුන්නේය. තවද, සිද්ධියට අදාළ සෙසු සාක්ෂිකරුවන් දෙදෙනෙකුටද එදිනට පෙනී සිටින ලෙස නියෝග කෙරුණු අතර, සීසීටීවී (CCTV) දර්ශන සහ දුරකථන ජාල විශ්ලේෂණ ඔස්සේ විමර්ශන අඛණ්ඩව සිදුකරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තා කළේය.

What's your reaction?

Related Posts

1 of 1,165

Leave A Reply

Your email address will not be published. Required fields are marked *