ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් පූර්ණ බලැති විමර්ශන කොමිසමක්

මෙරට ගල්අඟුරු විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ දා සිට 2026 අප්‍රේල් 16 දක්වා කාලය තුළ සිදුව ඇති බව කියන මහා පරිමාණ දූෂණ සහ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ. 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ බලතල අනුව පිහිටුවා ඇති මෙම කොමිසම මගින් ලංකා ගල්අඟුරු පුද්ගලික සමාගම හරහා සිදුකළ සියලු ගනුදෙනු දැඩි විමර්ශනයකට ලක් කිරීමට නියමිතය.​ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරුන් කටයුතු කරති. කොමිෂන් සභාවේ ලේකම් ධුරය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් පී.වී. බන්දුලසේන මහතා පත් කර ඇති අතර, ගල්අඟුරු ආනයනයේදී අනුගමනය කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය සහ ඉන් රජයට සිදුව ඇති මූල්‍යමය පාඩුව තක්සේරු කිරීම මෙහි ප්‍රධාන කාර්යභාරයකි.​විශේෂයෙන්ම, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කර ඇත්ද යන්නත්, සැපයුම් හා තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවලියේදී නීති විරෝධී මැදිහත්වීම් සිදුවී ඇත්ද යන්නත් මෙහිදී සලකා බැලේ. ගල්අඟුරු භාවිතයෙන් විදුලිය නිපදවීමේදී අපේක්ෂිත ඵලදායීතාවය ලැබී ඇත්දැයි සොයා බැලෙන අතර, ගිවිසුම්ගත කොන්දේසි උල්ලංඝනය කළ සැපයුම්කරුවන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගෙන තිබේද යන්න පිළිබඳව ද කරුණු විමර්ශනය කෙරෙනු ඇත.​මෙම අක්‍රමිකතාවලට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු දේශපාලන අධිකාරිය, රජයේ නිලධාරීන්, ගල්අඟුරු සමාගමේ බලධාරීන් මෙන්ම සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ නියෝජිතයන් හඳුනා ගැනීම ද කොමිසමට පැවරී ඇති වගකීමකි. ඔවුන්ට එරෙහිව ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමත්, අනාගතයේදී මෙවැනි දූෂණ ක්‍රියා වැළැක්වීම සඳහා අවශ්‍ය සුපිළිපන්න වැඩපිළිවෙළක් යෝජනා කිරීමත් මෙහි තවත් අරමුණකි.​මීට අමතරව, ගල්අඟුරු ආනයනය හා විදුලි උත්පාදනය සම්බන්ධව වාර්තා වන වෙනත් ඕනෑම අකටයුත්තක් පිළිබඳව සොයා බැලීමට කොමිසමට පූර්ණ බලය හිමිවේ. මෙමගින් බලශක්ති ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පුරා පැවති බව කියන අභිරහස් ගනුදෙනු නිරාවරණය කර ගැනීමටත්, මහජන මුදල් අවභාවිත කළ පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීමටත් රජය අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,100

Leave A Reply

Your email address will not be published. Required fields are marked *