ඩොලර් මිලියන 2.5ක රජයේ මුදල් වංචාව: 42 දෙනෙකුගෙන් ප්‍රකාශ 88ක්

ඊමේල් පණිවුඩ ව්‍යාජ ලෙස භාවිත කරමින් (Email Spoofing) රජයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරකට ආසන්න මුදලක් හැකර්වරුන් විසින් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 42 දෙනෙකුගෙන් ප්‍රකාශ 88ක් සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දැනුම් දී තිබේ. මෙම සිදුවීමට අදාළ වැඩිදුර වාර්තාවක් CIDය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ මුදල් ගෙවීම් සිදුකළ නිලධාරීන්, මුල් ගිවිසුම් පිළිබඳ කිසිදු සොයා බැලීමකින් හෝ හරස් ප්‍රශ්න නැඟීමකින් තොරවම අදාළ ඉන්වොයිස් පත් සඳහා මුදල් නිදහස් කර ඇති බවයි.​මේ අතර, වංචාව සිදුවූ සර්වර් පද්ධතියේ දත්ත ඇතුළත් පිටපත් (CD තැටි) පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අදාළ විශ්වවිද්‍යාලයට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. CIDය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි. එසේම, මෙම මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ බවට සැකපිට වැඩ තහනමකට ලක්ව සිටියදී, විදේශ ගමන් ද තහනම් කර තිබියදී සියදිවි නසාගත් රංග රාජපක්ෂ නැමැත්තාගේ මරණ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් ද මෙහිදී අධිකරණය හමුවට තබනු ලැබීය.​නඩුවට අදාළ ඉදිරි කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බැවින්, ඒ සඳහා සුදුසු දිනයක් ලබාදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

What's your reaction?

Related Posts

1 of 1,171

Leave A Reply

Your email address will not be published. Required fields are marked *