ජාතික පාසල් සහ විද්‍යාපීඨ සංවර්ධනයට බිලියන 13.5ක වාර්තාගත මුදලක්

2026 වසරේ අයවැය මඟින් ජාතික පාසල් සහ විද්‍යාපීඨ නංවාලීම වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කෙරුණු ඉහළම ප්‍රතිපාදනය ලෙස රුපියල් බිලියන 13.5ක මුදලක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. මීට අමතරව පාසල් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තවත් රුපියල් බිලියන 5ක් වෙන් කර ඇති අතර, දරුවන්ට සුරක්ෂිත මෙන්ම ආදරණීය පරිසරයක් පාසල තුළ නිර්මාණය කිරීමේ වගකීම රජය භාරගන්නා බව ඇය අවධාරණය කළාය. බස්නාහිර පළාත් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති විශේෂ ධාරිතා සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.​මූල්‍ය විනිවිදභාවය රැකගනිමින්, අමාත්‍යාංශ චක්‍රලේඛවලට අනුකූලව පාසල් පාලන හා සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාම පිළිබඳව මෙහිදී විදුහල්පතිවරුන් දැනුවත් කෙරුණු අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පාසල් වටපිටාව සකස් කරගත යුතු ආකාරය ද පැහැදිලි කෙරිණි. මෙහිදී විදුහල්පතිවරුන්ට තමන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු අග්‍රාමාත්‍යවරිය වෙත සෘජුවම ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමි විය. විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද පවතින සම්පත් මැනවින් කළමනාකරණය කරමින් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විදුහල්පතිවරුන් ඉටුකරන සුවිශේෂී කාර්යභාරය සහ කැපවීම රජයේ ඇගයීමට ලක්වන බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී කියා සිටියාය.​ලංකාවේ පාසල් පද්ධතිය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පවතින අර්බුද හඳුනාගනිමින්, සැමට සමාන අවස්ථා හිමිවන පරිවර්තනීය අධ්‍යාපන මාවතක් කරා රට යොමු කිරීමට රජය සතුව තිරසාර සැලැස්මක් ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අනාවරණය කළාය. ඒ යටතේ දැනට අධිකරණ තීන්දුවකට අනුව අනුමත වී ඇති 23,000ක ගුරු බඳවාගැනීම් කටයුතු මේ වසර අවසානයේදී සිදු කිරීමට නියමිතය. මෙමඟින් ලබන 2027 වසර වන විට මෙරට පාසල්වල පවතින ගුරු පුරප්පාඩු ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් පහත හෙළීමට හැකිවනු ඇතැයි ඇය විශ්වාසය පළ කළාය.​මේ වන විට රට පුරා ක්‍රියාත්මක කෙරෙන පාසල් යටිතල පහසුකම් සහ සනීපාරක්ෂක පද්ධති සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කර සිසුන් අතට පත් කිරීමට පියවර ගන්නා බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. එම මූලික කටයුතු නිමවීමෙන් පසු 2027 වසරේ සිට නව පාසල් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත. මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,171

Leave A Reply

Your email address will not be published. Required fields are marked *