මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් මුදා ගැනීම සඳහා දෙමාපියන් සක්‍රීයව දායක කරගන්නා ශක්තිමත් සහ ක්‍රමවත් යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට දැඩිව උපදෙස් දී තිබේ. “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීම ජනාධිපතිවරයා මෙම කරුණු අවධාරණය කළේය.දරුවන් මත්ද්‍රව්‍යවලට යොමුවීමේ අවදානම් කල්තියා හඳුනා ගැනීමට සහ ඔවුන්ගේ හැසිරීම් රටාවන් නිරීක්ෂණය කිරීමට දෙමාපියන් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. ඊට අමතරව, ගුරුවරුන් සහ ආගමික නායකයන් හරහා දරුවන්ට නිවැරදි මඟපෙන්වීමක් ලබාදීමටත්, ගුරුවරුන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී අවධානය යොමුව ඇත.සැප්තැම්බර් මාසය තුළ පමණක් මත්ද්‍රව්‍යවලට අදාළ රස පරීක්ෂක වාර්තා 8,000ක් අවසන් කර ඇති බව මෙහිදී අනාවරණය විය. එසේම, මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය මුලින්ම උදුරා දැමීම සඳහා අවශ්‍ය නව පනත ඔක්තෝබර් තුන්වන සතිය වන විට පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා නියෝග කර තිබේ.



























