ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ, සංචාරක, කෘෂිකාර්මික සහ සමුද්‍රීය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙරට එකඟතාව පළ කර තිබේ. ඊයේ (23) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය සිහාසාක් ෆුවාන්ග්කෙට්කියෝ මහතා අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවන්ට එළඹ ඇත. මෙහිදී දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) ඉදිරියට ගෙන යාම, ව්‍යාපාරික ප්‍රජාවට වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ පසුගියදා අත්සන් තැබූ දින 30ක වීසා රහිත සංචාරක අවබෝධතා ගිවිසුම පිළිබඳවද විශේෂ අවධානය යොමු විය.ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු සමුද්‍රීය වැදගත්කම මෙන්ම ආහාර සැකසීම හා තාක්ෂණ හුවමාරුව හරහා කෘෂිකාර්මික සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම 2027 ජනවාරි මාසයේ පැවැත්වෙන ‘එක්ස්පෝ ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනයට සහභාගී වී ආයෝජන අවස්ථා සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරිය තායිලන්ත ව්‍යාපාරිකයන්ට ආරාධනා කළ අතර, දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය වෙනුවෙන් තායිලන්ත රජයට සිය කෘතඥතාව ද පළ කළාය.බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානය හරහා කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රම සහයෝගීතාව පිළිබඳවද අදහස් හුවමාරු වූ මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝන් මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු දෙපාර්ශ්වයේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.



























