බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවය ඉදිරි දිනවලදී අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින්, නොවැම්බර් 14, 15 සහ 16 යන දිනවලදී දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට සමාන්තරව ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව අද (11) පැවති මාධ්‍ය හමුවකදී අනාවැකි අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.දැනට පවතින දෙවන අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය සක්‍රීය මට්ටමේ පැවතීම හේතුවෙන් මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැක. විශේෂයෙන් සවස් කාලයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ඇදහැලීමේ ප්‍රවණතාවක් පවතින බව ද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.මෙම තත්ත්වය හේතුවෙන් පහත් බිම්, ගංගා නිම්න සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව මෙන්ම උතුරු හා නැගෙනහිර මුහුදු තීරයේ නිරත වන ධීවර සහ නාවික ප්රජාවද ඉදිරියේදී නිකුත් කරන කාලගුණ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට උපදෙස් දී තිබේ.



























