ලැබුණු නිර්නාමික ඊමේල් බෝම්බ තර්ජන මාලාවක් හේතුවෙන් ඉතාලිය පුරා පාසල් 300 කට වැඩි ප්‍රමාණයක් බුධදා දින හිස් කිරීමට පියවර ගත් බව වාර්තා සහ අධ්‍යාපන බලධාරීහු පවසති. La7 රූපවාහිනී නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඉතාලි අධ්‍යාපන අමාත්‍ය ජුසෙප්පේ වල්දිතාරා (Giuseppe Valditara) තහවුරු කළේ විවිධ නගරවලින් වාර්තා ලැබෙමින් පවතින බැවින් බලපෑමට ලක් වූ අධ්‍යාපන ආයතන සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. මෙම පණිවිඩ හමුවේ පාසල් පාලනාධිකාරීන් වහාම ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරමින්, ආරක්ෂක අංශ සහ විශේෂිත බෝම්බ විනාශ කිරීමේ ඒකක මගින් පරිශ්‍රයන්හි පරීක්ෂණ පවත්වන අතරතුර සිසුන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කළහ. රජයේ ආරංචි මාර්ගවලට අනුව, මෙම තර්ජනාත්මක ඊමේල් පණිවිඩ “මිහයිල් අන්ද්‍රොපොව්, විලායත් ඔෆ් මිසෝජිනිස්තාන් හි නායකයා” (Mikhail Andropov, leader of the Vilayat of Misoginistan) යන නමින් යොමු කර තිබූ අතර, පසුගිය දිනකද පාසල් විදුහල්පතිවරුන් 280 දෙනෙකු වෙත මෙවැනිම පණිවිඩයක් ලැබී තිබුණි. තීරණාත්මක මහජන යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සිදුවන ඩිජිටල් බාධා කිරීම් සහ දෙමුහුන් යුද ක්රමෝපායන් (hybrid warfare) පිළිබඳ යුරෝපය පුරා ආරක්ෂක බිය වැඩිවෙමින් පවතින පසුබිමක, ඉතාලි පොලිසිය මෙම ඩිජිටල් තර්ජනවල මූලාශ්‍රය සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.



























