දිවයින වටා වන වෙරළබඩ මුහුදු කලාප කිහිපයක් සඳහා තද සුළං සහ රළු මුහුදු ස්වභාවයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද පස්වරුවේ නිකුත් කරන ලද මෙම විශේෂ අවවාදාත්මක නිවේදනය හෙට (31) පස්වරු 4.30 දක්වා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ.ඒ අනුව මුලතිව් සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු තීරයේ මෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-65 දක්වා ඉහළ යා හැකියි. මේ හේතුවෙන් එම මුහුදු කලාප විටින් විට ඉතා රළු ස්වභාවයක් ගත හැකි බව ද පෙන්වා දී ඇත.පවතින අවදානම් තත්ත්වය සලකා බලා අදාළ මුහුදු ප්‍රදේශවල නාවික කටයුතුවල සහ ධීවර කර්මාන්තයේ නියැලෙන පිරිස් මේ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එමෙන්ම ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද දන්වා සිටියි.



























