කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක භෝජනාගාරය තුළ නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා ජල බෝතල් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ කොටුවේ පිහිටි අදාළ ව්‍යාපාරික ආයතනයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම වී තිබේ. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවය.පසුගිය ජූලි 09 වන දින අනුරාධපුර ප්‍රදේශයේදී සිදුකළ හදිසි වැටලීමකදී, රුපියල් 120 ක උපරිම සිල්ලර මිලක් යටතේ අලෙවි කළ යුතු මිලිලීටර් 1000 ක පානීය ජල බෝතලයක් රුපියල් 150 කට මගීන්ට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති නියෝග උල්ලංඝනය කරමින් මෙම ජාවාරම සිදු කර තිබීම හේතුවෙන්, අදාළ ආයතනයට එරෙහිව මෙලෙස දැඩි නීතිමය පියවර ගෙන තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුවද දැනුවත් කර ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරන්නේ, මෙවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත වන ආයතනවලට එරෙහිව තරාතිරම නොබලා ඉදිරියටත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. එබැවින්, දුම්රිය තුළදී හෝ වෙනත් ඕනෑම තැනකදී වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නේ නම්, වහාම 1977 අංකය ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

























