ඓතිහාසික දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින්, අද (29) සවස 3.30ත් රාත්‍රී 7ත් අතර යෙදුණු සුබ මොහොතින් ප්‍රධාන ‘රන්දෝලි මහ පෙරහර’ වීථි සංචාරය කිරීමට නියමිතය. සධාතුක කරඬුව සහ දේවාභරණ වැඩම කරවමින් පැවැත්වෙන මෙම අවසන් මහා පෙරහර සඳහා අලි ඇතුන් සහ සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් එක්ව සිටිති. මෙහි බස්නායක නිලමේවරයා වශයෙන් ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන නුවන්ජිත් සෙල්ලහේවා මහතා ගමන් කිරීමට නියමිතව තිබේ.පෙර දිනවල සාර්ථකව නිමාවට පත් වූ හයවන පේළි කාවඩි පෙරහර සඳහා කාවඩි කණ්ඩායම් 31ක්, නර්තන කණ්ඩායම් 32ක් සහ අලි ඇතුන් තිදෙනෙක් සහභාගී වූ අතර, ඒ සඳහා ද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි. මෙම ඉතිහාසගත පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා මීට පෙර පැවති පේළි පෙරහරවලදී බස්නායක නිලමේ තනතුරේ කටයුතු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගේ අවධානය යොමුව තිබිණි.උත්සව සමයේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින්, දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ සෘජු අධීක්ෂණය යටතේ ආරක්ෂක අංශ සාමාජිකයින් 1700කට ආසන්න පිරිසක් යොදවා ඇත. ඒ අතර පොලිස් නිලධාරීන් 1200ක්, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 150ක්, බුද්ධි අංශ නිලධාරීන් 200ක් සහ යුද හමුදා සාමාජිකයින් ඇතුළත් වන අතර, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පෙරහර කටයුතු ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.



























