ශ්‍රී ලංකාවේ ලොකු ලූනු බීජ අවශ්‍යතාව රට තුළදීම සපුරා ගැනීමේ අරමුණින් සංවිධානය කළ “නාච්චාදූව ලොකු ලූනු බීජ ගම්මානය” වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මෙහි සමාරම්භක අවස්ථාව නාච්චාදූව, දිවුල්වැව ග්‍රාමයේදී පැවැත්විණි.නූතන කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම සහ නව තාක්ෂණික මෙවලම් ගොවි ජනතාවට හඳුන්වා දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අංගයකි. විශේෂයෙන්ම දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිදි බිංදු ජල සම්පාදන ක්‍රමවේද (Drip Irrigation) සහ ක්‍රමවත් පොහොර භාවිතය මේ සඳහා යොදා ගැනේ. මෙමඟින් වගා පිරිවැය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගනිමින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ගොවීන්ට අවස්ථාව සැලසේ.මෙමඟින් දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදනය ඉහළ නංවාලීමට අපේක්ෂා කරන අතර, වාර්ෂිකව බීජ ආනයනය වෙනුවෙන් විදේශයන්ට ඇදී යන විශාල ධනස්කන්ධයක් රට තුළ ඉතිරි කර ගැනීමට ද මේ හරහා මාවත විවර වනු ඇත.



























