ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධ වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේ නාවික හෙද විදුහලේ පාඨමාලාව සාර්ථකව අවසන් කළ නාවික හා ගුවන් හමුදා හෙද සිසු සිසුවියන් 16 දෙනෙකුගේ හිස් වැසුම් පැළඳවීම සහ සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය පවත්වා තිබේ. නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාවික අනුඛණ්ඩයේදී මෙම උත්සවය පැවැත්විණි.මෙම අවස්ථාවට නාවික හමුදාවේ හෙද සිසුන් 7 දෙනෙකු සහ සිසුවියන් 4 දෙනෙකුද, ගුවන් හමුදාවේ හෙද සිසුන් 3 දෙනෙකු සහ සිසුවියන් 2 දෙනෙකුද සහභාගී වී සිටියහ. ඔවුන්ට හිස් වැසුම් පැළඳවීම මෙන්ම තුන්සිළු පහන් ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්යක්ෂ (වෛද්‍ය සේවා) එම්.බී.සී. සමන්මලී මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කළ ආරාධිතයින් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරුන් සහ සිසුන්ගේ දෙමාපියන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



























