ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ විශේෂ විමර්ශන කොමිසමේ කටයුතු වඩාත් විනිවිදභාවයකින් පවත්වාගෙන යාම සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ සිය ධුරවලින් ඉල්ලා අස්විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි යොමු කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ, මෙම පරීක්ෂණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොවන පරිදි ස්වාධීනව සිදු කිරීමට ඉඩ සැලසීම තම අරමුණ බවයි.අද දින පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් ගල්අඟුරු මිලදී ගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතා සෙවීමට පූර්ණ බලැති කොමිසමක් පත් කරන ලදී. එම විමර්ශන කටයුතු අවසන් වන තෙක් තමන් තනතුරේ රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව අමාත්‍යවරයාගේ ස්ථාවරයයි. දූෂණයට එරෙහිව රජය ගෙන යන දැඩි ප්‍රතිපත්තියට සහාය පළ කිරීමක් ලෙස මෙම ස්වේච්ඡා ඉල්ලා අස්වීම් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරයි.ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ, 2009 වසරේ සිට ක්‍රියාත්මක වූ ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කිරීමට ගත් තීරණය තමන් අගය කරන බවයි. වංචා හා දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට නම් මෙවැනි විමර්ශන අත්‍යාවශ්‍ය බවත්, සත්‍යය නිරාවරණය වන තෙක් තමන් ධුරයෙන් බැහැරව සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයේදී ආණ්ඩු පක්ෂය තැබූ විශ්වාසය පිළිබඳව කෘතඥතාව පළ කරන අමාත්‍යවරයා, තමන් කිසිදු දූෂිත ක්‍රියාවකට සම්බන්ධ වී නැති බව සිය හෘද සාක්ෂියට එකඟව සහතික කරන බව ද සිය ලිපියේ දක්වා ඇත. ජනවරමට ගරු කරමින්, විමර්ශනවල අපක්ෂපාතීත්වය තහවුරු කිරීම වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බව ඔහු අවධාරණය කළේය.මේ අතර, බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ, ඉදිරි විමර්ශනවල ස්වාධීනත්වය තහවුරු කිරීමට සහ ඊට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා තමන් එම ධුරයෙන් ඉවත් වීම යෝග්‍ය බවයි. විමර්ශන නිලධාරීන්ට කිසිදු බාධාවකින් තොරව සිය රාජකාරි ඉටු කිරීමට අවස්ථාව සැලසීම පරිපාලනමය වශයෙන් වැදගත් වන බව ඔහු විශ්වාස කරයි.මෙම ඉල්ලා අස්වීම් පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව ඇති අතර, විමර්ශනයක් පැවැත්වෙන අතරතුර අදාළ විෂය භාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා මෙලෙස ස්වේච්ඡාවෙන් ඉවත් වීම මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමකි. මෙම පියවර හරහා නව රජයේ පාරදෘශ්‍යභාවය සහ යහපාලන ප්‍රතිපත්ති පිළිබඳව මහජනතාව තුළ පැහැදිලි චිත්‍රයක් මතු වන බව විචාරකයෝ පවසති.























