ප්‍රමාද වෙමින් පැවති වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු එළඹෙන ජූනි මස 10 සිට

දිගු කලක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවති වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු එළඹෙන ජූනි මස 10 වැනිදා හෝ ඊට පෙර නිල වශයෙන් ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. වැඩ බලන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එන්. දේවප්‍රිය මහතා සඳහන් කළේ, මේ වන විටත් වේරහැර කාර්යාල පරිශ්‍රය තුළ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය නවීන යන්ත්‍ර සූත්‍ර සවිකිරීමේ අවසන් අදියරේ වැඩකටයුතු සිදුවෙමින් පවතින බවයි.​තාක්ෂණික හා විද්‍යාත්මක නිර්දේශ මෙන්ම ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවල (SHLPC) ස්වාධීන තීරණවලට යටත්ව, මෙම ව්‍යාපෘතියේ වසර පහක කොන්ත්‍රාත්තුව South Asian Technologies (Pvt) Ltd ආයතනය වෙත පවරා තිබේ. පසුගිය ජනවාරි 20 වැනිදා අදාළ සමාගම වෙත ලංසුව ප්‍රදානය කෙරුණු අතර, ඊට අදාළ නිල ගිවිසුම් අත්සන් කිරීම පසුගිය මාර්තු 10 වැනිදා සිදු විය.​නීතිමය එකඟතාවලට අනුව ගිවිසුම්ගත වී මාස තුනක් ඇතුළත නිෂ්පාදන කටයුතු ආරම්භ කළ යුතු බැවින්, එළඹෙන ජූනි 10 වැනිදාට ප්‍රථම වාහන හිමියන් වෙත අංක තහඩු නිකුත් කිරීමේ කටයුතු කඩිනම් කෙරෙනු ඇත. මෙම නව වැඩපිළිවෙළත් සමඟ මෙතෙක් කාලයක් වාහන අංක තහඩු ලබාගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටි ලක්ෂ සංඛ්‍යාත මෙරට වාහන හිමියන්ට කඩිනම් සහ විශ්වාසනීය සේවාවක් සැලසීමට හැකිවනු ඇති බව බලධාරීන් අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,151

Leave A Reply

Your email address will not be published. Required fields are marked *