මෙරට පාසල් දරුවන් අතර පවතින අහිතකර ආහාර රටා හේතුවෙන් දරුවන් සැලකිය යුතු පිරිසක් ශාරීරික සංකූලතාවන්ට ලුහුබැඳී සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය පවසයි. 2024 ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවලට අනුව, වයස අවුරුදු 13ත් 17ත් අතර දරුවන්ගෙන් 12%ක් අධි බරින් ද, 3%ක් ස්ථුලතාවයෙන් ද පෙළෙන බව පෝෂණ අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය අනාවරණය කළාය.මෙම සමීක්ෂණයට අනුව දරුවන්ගේ දෛනික ආහාර රටාවන් පිළිබඳව කණගාටුදායක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඒ අනුව, දරුවන්ගෙන් 41%ක් දෛනිකව අධික සීනි සහිත ආහාර ලබා ගන්නා අතර, 29%ක් තෙල් සහිත ආහාරවලට ද, 28.05%ක් අධික ලුණු සහිත ආහාරවලට ද යොමුවී සිටිති. තවද, 17.04%ක පිරිසක් කාබනීකෘත පාන වර්ග නිරන්තරයෙන් පරිභෝජනය කරන බවත් දත්ත වාර්තා පෙන්වා දෙයි.රටේ ජනගහන වර්ධන වේගය පසුගිය කාලයේ ශීඝ්‍රයෙන් පහළ බැස ඇති පසුබිමක, සිටින දරුවන් පිරිස ද මෙවැනි සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වීම අනාගතයට එල්ල වන බරපතළ අභියෝගයක් බව විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කරයි. මෙම අහිතකර ආහාර පුරුදු පාලනය කිරීම සඳහා ගුරු දෙගුරුන්ගේ සහ අදාළ වගකිවයුතු ආයතනවල කඩිනම් මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.



























