රටේ ජනතා මුදල් සැබෑ සංවර්ධනය උදෙසා යොමු කිරීමේ අරමුණින් ඉදිරි ආර්ථික සැලසුම් සකස් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළ අතර, රාජ්‍ය පාලනය වෙනුවෙන් පමණක් වැඩි ප්‍රතිපාදන වැය කිරීම ජනතාවට කරන අසාධාරණයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය. එම නිසා, පවතින පුනරාවර්තන වියදම් අවම කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත.මෙම නව ආර්ථික ක්‍රමවේදය යටතේ 2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම් කර තිබේ. එය ආසන්න වශයෙන් 40%ක වර්ධනයක් වන අතර, භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ උන්නතිය වෙනුවෙන් භාවිත කිරීම රජයේ අපේක්ෂාවයි. අනාගත පරපුරට ණය බරින් තොර මූල්‍ය විනයකින් යුතු රටක් තිළිණ කිරීම මෙම මූල්‍ය ප්‍රතිපත්තියේ මූලික අරමුණ බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.මීට අමතරව, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඉදිරි අයවැය හරහා විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ අනුව, පුරවැසියන්ට නිවසේ සිටම සිය සේවාවන් ලබා ගැනීමට හැකි වන අයුරින් සමස්ත රාජ්‍ය සේවයම ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

























