පොලිස්පතිවරයාගේ නිල නාමය සහ ව්‍යාජ අත්සනක් යොදාගනිමින් මහජනතාව බියගන්වා මුදල් කොල්ලකෑමේ නිරත සයිබර් කප්පම් ජාලයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත, මේ වන විටත් මෙම වංචාව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.පොලිස් නිලධාරීන්ගේ නම් භාවිත කරමින් එවැනි තර්ජනාත්මක හෝ සැකකටයුතු විද්‍යුත් තැපැල් (ඊමේල්) පණිවිඩ ලැබුණහොත්, කලබල නොවී ඒවාට පිළිතුරු සැපයීමෙන් හෝ මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම එවැනි පණිවිඩවල අඩංගු කිසිදු සබැඳියක් (Links) වෙත පිවිසීමෙන් වළකින ලෙසද දැඩිව අවධාරණය කෙරේ. මෙමඟින් පොලීසියේ කීර්තිනාමයට මෙන්ම මහජන විශ්වාසයටද දැඩි හානියක් සිදුවන බව බලධාරීන් පෙන්වා දෙයි.මෙම වංචනික ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලීසිය දැඩි අවධානයෙන් කටයුතු කරන අතර, මෙවැනි අපරාධ පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වහාම ක්‍රියාත්මක වන පරිදි ළඟම ඇති පොලිස් ස්ථානයට, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට හෝ පොලිස් විශේෂ කාර්ය බලකායට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



























