මෙවර පොසොන් උත්සව සමයේ සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 18,129ක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. විශේෂයෙන්ම අනුරාධපුර පූජා භූමිය කේන්ද්‍ර කර ගනිමින් පමණක් දන්සැල් 200කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වීමට නියමිත අතර, එම ප්‍රදේශයේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නගර සභාවේ සෞඛ්‍ය අංශ විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත.සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කරන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා ඉදිරි දිනවලදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවයින පුරා දැඩි නිරීක්ෂණ ක්‍රියාවලියක නිරත වනු ඇත. පොසොන් කලාප ආශ්‍රිත සියලුම ස්ථිර සහ තාවකාලික වෙළඳසැල් ද මෙම පරීක්ෂාවන්ට ලක් කෙරේ. මෙහි මූලික අරමුණ වන්නේ ආහාර මාර්ගයෙන් බෝවිය හැකි රෝග පාලනය කරමින් සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමයි.දන්සැල් සංවිධායකවරුන් දැනටමත් සෞඛ්‍ය අංශවලින් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඇති අතර, නියමිත ප්‍රමිතීන් අනුව කටයුතු කරනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කරයි. උත්සව සමය තුළ අනවශ්‍ය සෞඛ්‍ය ගැටලු මතු නොවීමට කටයුතු කිරීම සංවිධායකවරුන්ගේ මෙන්ම මහජනතාවගේද වගකීමක් වේ. එබැවින් සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපදිමින් පින්කම්වල නිරත වන ලෙස බලධාරීන් සිහිපත් කර සිටී.



























