පෞද්ගලික බැංකුවක බිලියන 13ක වංචාව සිදු වූ අංශයේ කිසිදු විගණනයක් වී නැති බව සීඅයිඩිය කියයි

පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම උපයෝගී කරගනිමින් රුපියල් බිලියන 13ක දැවැන්ත මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක විමර්ශන ඒකකය අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ විශේෂ කරුණු අනාවරණය කළේය. ඒ අනුව, මෙම මහා පරිමාණ වංචාව සිදුව ඇති ගෙවීම් හා පියවීම් අංශයට අදාළව එම බැංකුවේ අභ්‍යන්තර හෝ බාහිර විගණන වාර්තාවල මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කළ වාර්තාවල ද කිසිදු විගණනයක් සිදුකර නොමැති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේය.​මීට පෙර අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව අදාළ විගණන වාර්තා පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂ නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව, අදාළ පොදු ලෙජර් ගිණුම සහ අවිනිශ්චිත ගිණුම් භාරව කටයුතු කළ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසත්, එහිදී ඔවුන් අතින් යම් අපරාධමය වරදක් සිදුව ඇති බවට හෙළි වුවහොත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියම විය.​මේ අතර, මෙම මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සියලුම සැකකරුවන් ලබන මස 12 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට ද අධිකරණය නියෝග කළේය. මෙම නඩු විභාගය සඳහා නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටිමින් කරුණු දක්වන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,165

Leave A Reply

Your email address will not be published. Required fields are marked *