මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවට අදාළව ඉදිරිපත් වූ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන 14 වැනිදා සිදු කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළේය. මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, විත්ති පාර්ශවය සහ පැමිණිලි පාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම දිනය නියම විය.මෙහිදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මැන්ඩිස් මහතා තර්ක කළේ, නඩුවේ කුමන්ත්‍රණ චෝදනාවට සම්බන්ධ කර සිටි ඩේසි ෆොරස්ට් නමැත්තිය මේ වන විට නිදහස් කර ඇති බැවින් තම සේවාදායකයාට එරෙහිව එම චෝදනාව තවදුරටත් පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් වන ලිඛිත විරෝධතා ද අධිකරණයට භාර දීමට විත්ති පාර්ශවය පියවර ගත්තේය.කෙසේ වෙතත්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ විත්තිකාරිය නිදහස් කළේ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සලකා මිස චෝදනාවල පදනමක් නොමැති නිසා නොවන බවයි. මේ පිළිබඳ නීතිපතිවරයාගේ අවසන් ස්ථාවරය ලබන සඳුදා ඉදිරිපත් කිරීමට නියමිත අතර, දෙපාර්ශවයේම කරුණු දැක්වීම්වලින් පසු ලබන 14 වැනිදා අධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

























