හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළිත් වරක් නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. 2022 වසරේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන්ට නීති විරෝධී ලෙස වන්දි ලබාදුන් බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළව මෙම පියවර ගෙන ඇත. අදාළ වන්දි මුදල් යළි අය කරගන්නා ලෙස ඉල්ලා පාරිසරික නීතිවේදී ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපතිවරයාව මෙලෙස නම් කර තිබේ.අදාළ පෙත්සම මගින් පෙන්වා දෙන්නේ සාමාන්‍ය නීතිමය රාමුව ඉක්මවා යමින් රජය විසින් තෝරාගත් පුද්ගලයන් කණ්ඩායමකට පමණක් මෙලෙස විශාල වන්දි මුදල් ගෙවීම තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි. මෙම වන්දි ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසත්, ඊට වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.මෙම නඩුව සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, අනෙකුත් වගඋත්තරකරුවන්ට අවශ්‍ය නම් සීමිත විරෝධතා ගොනු කිරීමට අවසර ලබා දුන් අතර පෙත්සම යළි සලකා බැලීම සඳහා ලබන ඔක්තෝබර් මස 21 වනදා දිනය නියම කළේය. රජයේ මුදල් අවභාවිත කරමින් සිදු කළ බව කියන මෙම වන්දි ගෙවීම් පිළිබඳ නඩුව ඉදිරි කාලයේදී මෙරට දේශපාලන කරළියේ දැඩි කතාබහකට ලක්වන ලකුණු පෙනෙන්නට තිබේ.

























