රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට වෘත්තීය ගෞරවය, ස්වාධීනත්වය සහ ව්‍යවස්ථාමය වගකීම් අගය කරන කිසිදු නීතිඥවරයෙකුට හෝ නීතිඥවරියකට සහාය දැක්වීමට නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කර තිබේ. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කළ අතර, වෘත්තීය අභිමානය සුරක්ෂිත කරන නීතිඥ ප්‍රජාව මෙවැනි යෝජනා හමුවේ නිහඬව නොසිටින බව ඉන් පැහැදිලි වේ.යම් හෙයකින් මෙම රජයේ යෝජනාවට කිසියම් පාර්ශ්වයක් සහාය පළ කරයි නම්, එය කිසිදු නීතිමය හෝ ව්‍යවස්ථාමය මූලධර්මයක් මත පදනම් වූවක් නොවන බව සභාපතිවරයා පෙන්වා දෙයි. එය සම්පූර්ණයෙන්ම දේශපාලන මතවාදයක් හෝ යම් පෞද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් පමණක් සිදු කරනු ලබන ක්‍රියාවක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඛණ්ඩත්වය, අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මූලධර්මවාදී ස්ථාවරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය වන ඕනෑම දැඩි පියවරක් ගැනීමට කිසිදු විටෙක පසුබට නොවන බවද හෙතෙම සිය සමාජ මාධ්‍ය සටහන මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.



























