රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කරමින් නිවසේ සිටම ලබාදීමේ නව වැඩපිළිවෙළක්

රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මට සමගාමීව “මහජන සේවා ප්‍රශස්තකරණයට බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” (PIC-NET) පිහිටුවීමට පියවර ගෙන තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි ක්‍රියාවට නැංවෙන මෙම ව්‍යාපෘතිය යටතේ, රාජ්‍ය ආයතනවල ඩිජිටල් පරිවර්තනය මෙහෙයවීම සඳහා දක්ෂ නිලධාරීන් 400 දෙනෙකු තෝරා ගැනීමට නියමිතය. මෙහි මූලික පියවරක් ලෙස සම්බන්ධීකරණ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේදී (ICTA) මෑතකදී පවත්වන ලදී.​දැනට 3%ක්ව පවතින ලංකාවේ ඩිජිටල් ආර්ථිකය 2030 වසර වන විට 12%ක් දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රධාන ඉලක්කයකි. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ICTA සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පෙන්වා දෙන්නේ, ඉදිරි වසර තුන ඇතුළත බැංකු ගනුදෙනු මෙන් සියලුම රාජ්‍ය ආයතනික සේවාවන් එකිනෙකට ජාලගත කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙම නවීකරණය හරහා අනාගතයේදී විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සහ විවිධ බලපත්‍ර අලුත් කිරීම වැනි සේවාවන් රැසක් නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් සිදු කර ගැනීමට මහජනතාවට අවස්ථාව සැලසේ.​එකම තොරතුර නැවත නැවත ඉදිරිපත් කිරීමට සිදු නොවන පරිදි වඩාත් සරල සහ කාර්යක්ෂම පද්ධතියක් මේ හරහා නිර්මාණය වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය රනිල් පීරිස් මහතා සඳහන් කරයි. ජනාධිපති කාර්යාලය, GovTech Sri Lanka සහ KPMG ආයතනයේ නියෝජිතයන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම දැවැන්ත තාක්ෂණික වෙනස සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සමස්ත මහජනතාවගේ ද සහයෝගය අත්‍යවශ්‍ය බව බලධාරීහු අවධාරණය කරති.

What's your reaction?

Related Posts

1 of 1,165

Leave A Reply

Your email address will not be published. Required fields are marked *