එළඹෙන වෙසක් සමයේ සංවිධානය කෙරෙන දන්සල්වලදී පැණිබීම ඇතුළු සිසිල් බීම වර්ග වෙනුවට තේ හෝ කෝපි වැනි උණුසුම් පාන වර්ග පිරිනැමීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටී. පවතින කාලගුණික තත්ත්වයන් මත දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් ජලයෙන් බෝවන රෝග වාර්තා වීම මෙයට හේතුවයි. අපිරිසිදු ජලය හෝ නිසි ප්‍රමිතියෙන් තොර අයිස් කැට භාවිතයෙන් සකසන සිසිල් බීම මඟින් ලෙඩ රෝග ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් සියලුම දන්සල් සංවිධායකයන් තමන්ගේ බලප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සම්බන්ධ කරගෙන උපදෙස් මත කටයුතු කිරීම අනිවාර්ය වේ. මේ සම්බන්ධයෙන් දන්සල් කටයුතු විධිමත්ව සැලසුම් කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ සහාය සහ උපදෙස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ නිලධාරීන් තිදෙනෙකු ද පත් කර ඇත.ඒ අනුව කොළඹ මහා නගර සභා බලප්‍රදේශයේ දන්සල් සඳහා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.එච්.වී.සී. විතානගේ මහතා (0776697674) සම්බන්ධ කරගත හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශ සඳහා මධ්‍යම ආහාර පාලන ඒකකයේ සහකාර අධ්යක්ෂ කේ.කේ.එල්. ජයලාල් මහතා (0779191010) අමතා උපදෙස් ලබාගත හැක. මීට අමතරව වැඩිදුර සන්නිවේදන සහාය අවශ්‍ය වන්නේ නම් සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී ජනක සුනෙත් බණ්ඩාර මහතා (0714327387) ඇමතීමට ද අවස්ථාව සලසා දී තිබේ.

























