තුර්කියේ අන්තාලියා නුවර පැවැත්වෙන 2026 “මිස් අවුරා ඉන්ටර්නැෂනල්” (Miss Aura International) රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනෙවිය අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගියාය. ඇය එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-649 දරන යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා මෙම ගමන ආරම්භ කර තිබේ. වෘත්තියෙන් වෛද්‍යවරියක වන ඇය මෙවර තරගාවලියට සහභාගී වන දක්ෂතම ශ්‍රී ලාංකේය නියෝජිතවරියකි.ලොව පුරා රටවල් 50ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන මෙම තරගාවලිය මැයි මස 10 වනදා සිට මැයි මස 22 වනදා දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව ඇත. දින 12ක් පුරා දිවෙන මෙම ජාත්‍යන්තර තරගාවලියේදී විවිධ අංශ යටතේ තරගකාරීත්වය මැන බැලෙන අතර, දෙවීනා නවීක්ෂි ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහ දක්ෂතාවය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමට සූදානමින් සිටියි.මෙම ගමන පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම මහත් ගෞරවයක් බවයි. ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා සපිරි වෛද්‍ය දෙවීනා, මෙවර “මිස් අවුරා” කිරුළ මෙරටට රැගෙන ඒම වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදීමට අපේක්ෂා කරන අතර, ඇයගේ මෙම ජාත්‍යන්තර ගමනට බොහෝ පිරිසක් සුබ පැතුම් එක්කර තිබේ.

























