ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සෞඛ්‍ය වාර්තාව අද අධිකරණයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ ඇතුළත් වාර්තාව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් 14 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් විසින් මෙම වාර්තාව සකස් කර ඇත. ​අදාළ විශේෂඥ වෛද්‍ය වාර්තාව තමා වෙත ලැබී ඇති බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා තහවුරු කර තිබේ. ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස්වරයාගේ මාර්ගයෙන් අද දිනයේදී එම වාර්තාව අධිකරණය වෙත භාරදීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ​සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන බව පවසමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාගෙන, රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත මෙම නඩුව විභාග වේ. පසුගිය 13 වනදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,381

Leave A Reply

Your email address will not be published. Required fields are marked *