ගෝලීය ආර්ථික අර්බුද හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ රජයේ සෘජු මැදිහත්වීම මත සිදුකළ මෙම මිල සංශෝධනය අද (10) සිටම රට පුරා ක්‍රියාත්මක වන බවයි. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මතුව ඇති ගෝලීය ආර්ථික බලපෑම්වලින් දේශීය පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.මෙලෙස මිල අඩු කරන ලද භාණ්ඩ අතර දෛනිකව බහුලව භාවිත වන ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, තිරිඟු පිටි මෙන්ම කවුපි, කඩල, මුං ඇට සහ රටකජු වැනි ධාන්‍ය වර්ග ද ඇතුළත් වේ. මීට අමතරව සහල් පාරිභෝගිකයන් වෙනුවෙන් රතු කැකුළු, රතු නාඩු, සුදු නාඩු, සම්බා සහ පොන්නි සම්බා යන සහල් වර්ග රැසක මිල ගණන් ද මෙම සහන පැකේජය යටතේ පහත දමා තිබේ.

























