සයිබර් අපරාධ සහ දූෂණ මැඩලීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නව ගිවිසුමක්

සයිබර් අපරාධ, දූෂණය සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නව අවබෝධතා ගිවිසුමකට ඊයේ (26) කොළඹදී අත්සන් තැබුණි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ දිවයිනට පැමිණ සිටින රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සන් මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබීය.​මෙම ගිවිසුම හරහා මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදය සහ ජාත්‍යන්තර අපරාධ මැඩපැවැත්වීම සඳහා දෙරට අතර තොරතුරු හුවමාරු කර ගැනීමටත්, නවීන තාක්ෂණික පුහුණුව හා සහාය ලබා දීමටත් එකඟතාව පළ වී තිබේ. දෙරටටම පොදු අභියෝගයක් වන මෙම අපරාධ මර්දනය කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම රුසියානු ප්‍රධාන අභිචෝදක ජනරාල්වරයා මෙහිදී අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවට ලබා දෙන තාක්ෂණික සහාය වෙනුවෙන් අධිකරණ අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළේය.​මෙම විශේෂ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස්. ජගාර්යන්, සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න යන මහත්වරුන් ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රුසියානු නියෝජිත පිරිසේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,442

Leave A Reply

Your email address will not be published. Required fields are marked *